Adsense

July 23, 2013

Wasanthe Ape Pem by Dumindu Weerasinghe

වසන්තේ අපේ පෙම් හීනයක් වෙලා - දුමිඳු වීරසිංහ




මිනිසුන්ගේ ජීවිතවලට එබී බැලූ කල කෙතරම් ශෝකජනක දේ දැකිය හැකිද? බොහෝ අය මුවඟ සිනහවක් රඳවාගෙන හදවතින් හඬන්නෝ වෙති. ජීවිතයේ වැටුනු තැන්, රිදුනු තැන්, පරාජය වු තැන් සියල්ල සඟවාගෙන ජීවිතයට මුහුන දෙති.  සෑම පුද්ගලයෙකුම තමන් ප‍්‍රාර්ථනාකරන සියලූ දේ නොලැබේ. ජීවිතයේ විවිධ අවධීන් වලදී ඔවුනොවුන්ගේ අපේක්‍ෂාවන් වෙනස්ය.  කුඩා කල දෙමව්පියන්ගේ උණුහුමේ රැඳුනු අප සියලූදෙනා පාසල් අධ්‍යාපනය ලබමින් කෙළිදෙලෙන් ගත කලහ. තාරුණ්‍යය අභියෝගාත්මකය, වැඩිහිටි සමය වගකීම් සහිතය. ජීවිතයේ සැදෑ සමය නිදහසේ සුවවිදිය යුත්තකි. ජීවිතය ගලායන ආකාරය විශ්මය ජනක නොවේද ?

Watch Music Video :


මේ අතුරින් තාරුණ්‍යය ඉතා චමත්කාර ජනකය. තමන් සිතන පතන පරිදි තමන්ගේ ජීවන රටාව ගෙනයන අතර භාහිර බලපෑම් වලට නතුවන ප‍්‍රමාණය ඉතා ස්වල්පෙවි. තාරුණ්‍යය ඉතා ප්‍රවේශම් කාරීව ගතකල යුතුය. මන්ඳයත් තාරුණ්‍යය ජීවිතයේ ගමන් මග තීරණය කරන නිසාවෙනි.
තාරුණ්‍යයේ වඩාත් ප‍්‍රබල හැගීම නම් ආදරයයි. ආදරයේ පහස ලබන්නට මිනිසුන් පමණක් නොව තිරිසන් සතුන්ද ප‍්‍රියකරති. එම නිසා මිනිස් සමාජයේ සම්මතය නම් අනාගත සහකරු හෝ සහකාරිය තෝරාගෙන ඔහුට හෝ ඇයට ආදරය කිරීමයි. එහෙත් එවැනි ආදරවන්තයින්ගෙන් කී දෙනෙකු තම ආදරයේ අස්වැන්න නෙලන්නෝ වෙත්ද? අතරමගදී කෙලවර වන බොහෝ ආදර කතන්දර ඔවුනොවුන්ගේ නොගැලපීම සහ සෑහීමකට පත්නොවීම තුල සිදුවන බව මා විශ්වාස කරමි. එම නිසා කෙනෙකුට ආදරය කර ඔහුව හෝ ඇයව පසුව තෝරාගැනීමට වඩා කෙනෙකු තෝරාගෙන පසුව ආදරය කිරීම වඩා උචිතයැයි හැගේ.


කෙසේ හෝ සමාජයේ ආදර කථාන්දර සහ ඒවායේ නිමාවන් පිළිබඳව විශ්ලේෂණය කරනවිට බොහෝ අය ආදරය යනු කුමක්දැයි වටහාගෙන නොමැති බව නම් කිව යුතුය. මාද තාරුණ්‍යයේ රැදී සිටි හෙයින් හොඳ සහකාරියක් සොයාගන්නේ කෙසේද යන පැනයට පිළිතුරක් සොයා වොහෙසුනෙමි. එය ඉතාමත්ම අපහසු කාර්යක් බව මා දැන් අත්දැක හමාරය. ආදරය ගැන ශ්‍රී ලංකාවේ බිහි වී ඇති ගීත අතරින් විශිෂ්ඨ ගීතයක් ලෙස "ආදරයේ උල්පත වු අම්මා" යන ගීතය තැබිය හැකි බව මාගේ විශ්වාසයයි. එහෙත් ඒ අම්මාගේ ආදරයයි. එයට සමකලහැකි ආදරයක් මිහිපිට තවත් නැත.

ආදරය ගැන තවත් කරුනු කාරණා සිහිපත් කිරීමේදී, එය මිනිසුන්ගේ ජීවිත සුවපත් කරනවා මෙන්ම විනාශ කරන බවද පැහැදිලිය. එය තමන් පරිහරනය කරන ආකාරය අනුව ප‍්‍රතිඵළ ලැබෙනබව මාගේ විශ්වාසයයි.
ආදරයෙන් බැදුනු යුවලක් ස්වාභාවික හේතුවක් මත වෙන්වන්නට සිදුවුවහොත් කුමක් වේද ? ඉන් එක් අයෙක්  ජීවිතයෙන් සමුගත්තොත් කුමක් වේද? ආදරය ගැන සිහිපත් කරන විට ඉහත සිතිවිලි මාගේ මනසට නැගිනි. ආදරය තරමටම විරහවද රස විදියහැක. එහෙත් එය සිදුකළහැක්කේ ඉතා අල්ප පිරිසකට පමණි. ඒ සියල්ලට වඩා තනිකම රස විදිය හැකිය. එයද පි‍්‍රයකරන්නෝ ඇත්තේ ඉතා අල්පයකි.

දෙසිතක හටගත් පේ‍්‍රමය විවිධ ආකාරයෙන් කෙලවර වේ. ඔවුනොවුන්ගේ නොගැළපීම් මත දෙදෙනා විසින් එකඟතාවයකට පැමිණ, නැතහොත් හිතාමතා ද සිදුවිය හැකිය. එසේ නැතහොත් ස්වාභාවික හේතුවක් මත තම පේ‍්‍රමය බිඳුනහොත්,  නැතිනම් කිසියම් රෝගයකින් මියගොස් ඔහු හෝ ඇය වෙන්වුවහොත් අනෙකා කුමක් කරන්නද ?

මරණය සිහිපත් කල යුතු බව බුදු වදන තුල සඳහන් වේ. එසේ නම් විරහව ද සිහිපත් කිරිම  අනුවන ක‍්‍රියාවක් යැයි මට නොහැගේ. එම නියාම පේ‍්‍රමය මෙන්ම විරහව පිළිබඳව ගැඹුරු කල්පනාවක සිටියෙමි.  "විරහව" අපුරු වචනයකි. ඒ පිළිඹඳව ගීතයක් ලිවිය යුතු යැයි මට හැගිනි. පෑනක් සහ කඩදාසි කොළ කැබැල්ලක් ගෙන විරහව මෙනෙහි කලෙමි. තාරුණ්‍ය නැමැති ජීවිතයේ වසන්ත කාලය සිහිනයක්ම පමනක් වී ඇත. එය තවදුරටත් සැබැ කරගත නොහැකි යැයි මා හොදින් දනිමි. ගෙවීගිය තාරුණ්‍ය ජීවිතයේ යලිඳු කිසිදාක නොපැමිනේ.  අපේ පේ‍්‍රම වසන්තය සිහිනයක් වී ඇත. එය සුළු පද වෙනසකට ලක්කර "වසන්තේ අපේ පේම් හීනයක් වෙලා" ලෙස සටහන් කර ගත්තෙමි.

පෙම් යුවලක් පේ‍්‍රමය රස විදින්නේ අනුරාගය මුසුකොට ගෙනෙයි.  ඒ නිසාම ඔවුනොවුන් වැළදගැනීමට සහ සිපගැනිමට ප‍්‍රියතාවයක් දක්වයි.  ස්පර්ශයට ප‍්‍රියතාවයක් දක්වයි.  ඒ තුලින් සිදුවන උත්තේජනය නියාම මුහුණ රත් පැහැ ගනී.  දෙතොල් පෙති වඩාත් රෝස පැහැයක් ගනී.  ඉමහත් සුවයක් ලබයි.  ඒ නිසාම ඒ සුන්දරත්වය විටින් විට සිහියට නැගෙයි. ජීවිතයේ අවසානය දක්වාම සිහිපත් වේ.  එහෙත් අද එකී පේ‍්‍රමය කෙසේ රස විදිමිද? එදා ලංවෙලා සිපගත් තොල්පෙති සුදුමැලි වී ඇත. තොල් පෙති වල තිබු රෝස පැහැය වියකී ඇත.  එය දකින විට අතීතය යලි යලිත් සිහියට නැගෙයි.  ඒ තුලින් නැගෙන ශෝකය සමඟ ජීවත්වන්නට සිදුව ඇත.

පේ‍්‍රම කරන කල්හි, ඔවුන්නොවුන්ගේ අදහස් සහ හැගීම් බෙදාහදා ගැනිම අත්‍යවශ්‍ය කාරණයකි.  එම නිසාම කෙළවරක් නැතිව පෙම් බස් මුමුණන පෙම්වතුන් කොතරම් සිටීද? ඔවුන්ගේ පෙම් වදන් බොළඳ යැයි බොහෝ අය පවසති.  එහෙත් ඒ අතරින් ජිවිතයේ අරුත, පේ‍්‍රමයේ අරුත කියාදෙන පෙම්වතුන් පෙම්වතියන් බොහෝ ඇත. පේ‍්‍රමය නිසා ජීවිතය වෙනස් වු සහ වෙනස් කරගත් බොහෝ පුද්ගලයින් අප දැක ඇත.  එවැනි පෙම්වතුන් ඔවුනොවුන් වෙනුවෙන් තම හදවතේ බොහෝ ඉඩක් වෙන්කරගනු ඇත.  ඒ දිනෙන් දින දළුලන පේ‍්‍රමයේ අස්වැන්න තැන්පත් කිරීමට මිස අන් කිසි දෙයකට නොවෙයි. 

එහෙත්, ඒ ප‍්‍රාර්ථනා සියල්ල එසේ වුවත් පේ‍්‍රමයේ අරුත කෙතරම් කියාදුන් නමුත් සියලූ සිහින බොඳවී ඇත.  නෙලන්නට පේ‍්‍රමයේ අස්වැන්නක් නැත.  ආයෙත් වසන්තයක් යලි කවදාවත් නොඑනු ඇත.  ඇයගේ තුරුලේ  උණුසුම , ගතේ සියුමැලි ස්පර්ශය, කෙහෙරැල්ලේ සුවඳ ,මිමිනු පෙම්බස් , දහසක් ප‍්‍රාර්ථනා , තොල් පෙති වල මිහිර යලි කවදාවත් නොලැබෙනු ඇත.  ඒ සියල්ල සිහිනයක් පමණි.  ඇය ඇගේම දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, ඥාතීන්ට, මිතුරු මිතුරියන්ට මෙන්ම පණමෙන් ආදරය කළ මටද කලක් දී මෙලොවින් සදහටම  සමුගෙන ඇත. 

සොඳුරු දිනක රන් හුයකින් දෑත පටලලා
සෑමදා ලගින් හිදින්නම් කියා දිවුරලා
දෙතොල් උනුහුමින් මා ගත සුවඳ තවරලා
නිල් නෙතු පියාන රහසේ ඈත ඉගිලිලා......

පෙම් යුවලකට එළෙඔන සොඳුරුම දිනය මංඟල දිනයයි.  ඒ සොඳුරු මොහොත විඳගන්නට කොතරම් සිහින දකිනවාද? කෙතරම් බලාපොරොත්තු සහ අපේක්‍ෂාවන් ඇත්ද? ඔවුනොවුන් එකිනෙකාට කොතරම් පොරොන්දු දෙනවාද? ඒ පොරොන්දු දීමේදී  හදට දැනෙන සුවය එකිනෙකා තුරුළු වී විඳගනී.  ඒ ආදරය නිසාම සිප වැලඳ ගනී.  ඒ වැලඳ ගැනීම් සිපගැනීම් අතරේ එකිනෙකාගේ ගතට දැනෙන සුවඳ  ඔවුනොවුන් තවත් කුල්මත්කරයි.  ඒ සුවදටත් ඔවුන් ආදරය කරයි. 

ඡීවිතයේ සොදුරුම දිනෙක රන් හුයෙකින් දෑත පටලා මා ඇගේ කරගන්නා බවට ඇය පොරොන්දු වුවාය.   ඡීවිතයේ කිසිම දිනෙක මා තනිකර නොයනබවත් සදා කල් මාගේ තුරුලේම හිදින්නටත් ඇය පොරොන්දු වුවාය.  ඇය මා සිපගත්තාය. මාගේ දෙතොල් පෙති මත ඇයගේ දෙතොලේ උණුසුම තැබුවාය.  ඒ මොහොතේ මාහට දැනුණු ඇගේ සුවඳ තාමත් මතකයේ ඇත.  එහෙත් ඒ සියල්ල පියවි ලෝකයේ නැත.  ඇයගේ නිල් නෙතු සඟල යලි කිසි දිනෙක දැකිය නොහැක.  එය සදහටම පියාගෙන ඇත.  එපමනක් ද නොවේ  ඇය මාගේ ලෝකයෙන් ඈත ඉගිල ඇත. 

සීත රෑක හීනෙන් වත් සුරඟනක් වෙලා
ඇවිත් යන්න ආදරයෙන් මාව සනසලා
සසර පුරා පෙමින් ඉන්න අපි අපේ වෙලා
හැම භවේම මාගෙ වෙන්න  නොයන් වෙන්වෙලා

ඇය සඳහටම මගේ ලෝකයෙන් සමුගෙන ඇත.  යලිත් කිසි දිනෙක මට මාගේ දෙනෙත් වලින් ඇය දකින්නට නොහැකි බව මා දනිමි. එහෙත් මාගේ දෙනෙත් ඒ රුවම විමසය. අනේ යලිත් මට ඇයව දකින්නට ඇත්නම්,  නැවත සිතිවිලි සමුදායක් නැගේ. තවත් එක් විකල්පයක් ඉතිරිවී ඇත.  ඒ අන් කිසිවක් නොව ඇයව සිහිනෙන්වත් දැකීමයි.  ඇය සිහිනෙන් වත් පැමිණ මාව සනසා ඇගේ ලෝකයට යන්නේනම් මා කෙතරම් සතුටු වනු ඇත්ද? ඇය සිහිනෙන් හෝ පැමිනෙන්නේ නම් මා කිසිදා එම සිහිනෙන් අවදිනොවන්නේමි. මියෙනතුරාම සිහිනේ රැදී සිටින්නෙමි.  ඇය මේ ලෝකයෙන් සමුගත්තේ ඳෙවුලොවට යන්නට බව මා දනිමි. ඇය දෙව්ලියන් සහ සුරංගනාවියන් සමඟ සතුටින් ජීවත් වනු ඇතැයි මගේ හද මට පවසයි.  ඇයට සුරංඟනා වියක් සේ පැමින මාව සනසා යා නොහැකිද? එනිසාම මම ඇයට ආරාධනා කලෙමි.  සුරංඟනා වියක් සේ සපැමිණ මා සනසා යන ලෙසට. සංසාරය කෙළවර කර ගැනිමට තව බොහෝ කල් ඇත්තේය.  ෙමේ භවයේ දී ඇය මාව තනිකල බව සැබෑය. එහෙත් අනෙකුත් භවයන් වල ඇය මගේම වන්නට, මම ඇයගේම වන්නටත්, අපි අපේම වෙන්නටත් ප‍්‍රාර්ථනා කරමි. සංසාරය පුරාවටම මගේම ලගින් ඉන්නට ඇයට ආරාධනා කලෙමි. මතු කිසිම භවයක වෙන් නොවන්නටත්, ඇය මගේම වෙන්නටත් ප‍්‍රාර්ථනා කලෙමි. එ නිසාම මතු භවයේ ඇයම ලබන්නට මෙම භවය පුරාවටම පින් පුරන්නෙමි. 

පද රචනය - සජිත් සිරිවර්ධන 
සංගීතය - ලංකා නිරෝෂන් (මාතර C)
ගායනය - දුමිඳු වීරසිංහ

Download Video Song  :  http://www.music.lk/song-video-wasanthaye-dumindu-weerasinghe